ඉබෝලා කියල කියන්නේ වෛරස් ආසාදනයක්. ඒක ඇතිවන්නේ Filoviridae කියන වෛරස් කාණ්ඩය තුල ඇති වෛරසයකින්. දැනට එසේ මෙම රෝගය ඇතිකරන වෛරස 6ක් හදුනාගෙන තියෙනවා. මෙම ආසාදනය ගැන මෙතරම් කථාකරන්න හේතුව මෙය ආසාදනය වන අයගෙන් 50%ක් හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් (90%) මරණයට පත්වීමයි. තවම මේ සදහා ස්ථිර ප්‍රතිකාරයක් නොමැත. මුලින්ම ඉබෝලා වෛරස ආසාදනය හදුනා ගන්නේ සුඩානයෙන් සහ කොංගෝ වලිනි. ඉබෝලා ආසාදනයේ රෝග ලක්ෂණ පහවී ගියත් වෛරසය බොහෝ කාලයක් අපේ ශරීරයේ සිටියි.
මේක බෝ වෙන්නේ කොහොමද?
ඉබෝලා වෛරසය මිනිසුන්ට පහත ක්‍රම මගින් බෝ වෙයි.
ඉබෝලා වෛරසයෙන් ආසාදනය වී ඇති වව්ලන්, චිම්පන්සියන්, ගෝරිල්ලන්, වඳුරන් වැනි සතුන් අහාරයට ගැනීමෙන් හෝ එම සතුන්ගේ කෙල, මුත්‍රා, රුධිරය අපේ ශරීරයේ ඇස්, තුවාල, මුඛය, ලිංගික ප්‍රදේශ වල තැවරීමෙන්.
ඉබෝලා ආසාදිතයෙකුයේ කෙල, මුත්‍රා, රුධිරය, වමනය,දහදිය කදුළු අපේ ශරීරයේ ඇස්, තුවාල, මුඛය, ලිංගික ප්‍රදේශ වල තැවරීමෙන්.
මව් කිරි මගින් දරුවන්ට බෝවීමද දැකිය හැකියි.
රෝග ලක්ෂණ
වෛරසය ආසාදනය වී දින 2ත් – 21ක් අතර කාලයක් තුල රෝග ලක්ෂණ පහල වෙයි. පහත රෝග ලක්ෂණ දැකිය හැකියි.
උණ
තෙහෙට්ටුව
මාංශ පේශි වේදනාව
හිසරදය
උගුර වණ වීම
ඉන් පසු පහත රෝග ලක්ෂණද දැකිය හැකියි
වමනය
පාචනය
හමේ ඇති වන රතු පැල්ලම්
වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම
සමහර අවස්ථාවලදී අභ්‍යන්තර හා බාහිර රුධිර වහනය

රෝග නිශ්චය
මෙයත් අනිත් වෛරස් ආසාදන හා සමානම නිසා මුල් අවස්ථාවේදී හදුනාගැනීමට විශේෂ රෝග ලක්ෂණයක් නොමැත. රුධිරය, වමනය සහ කෙල පරික්ෂාවට ලක් කිරීම මගින් ආසාදනය තහවුරු කල හැකියි.
ප්‍රතිකාර
තවම රෝගය සුව කිරීමට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති වුණත් එය වලක්වා ගැනීමට දැනටමත් එන්නතක් නිපදවා ඇත. ප්‍රතිකාර කිරීමේදී මුලිකව කරන්නේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සහ රුධිර සංසරණය, හුස්ම ගැනීම නිසි ආකාරව පවත්වා ගැනීමයි.
වලක්වා ගන්නේ කොහොමද?
ඉබෝලා ඇති ප්‍රදේශ වලට යෑමෙන් වැලකීම
ඉබෝලා ආසාදනය ඇති අයගෙන් ඇත්වී සිටීම සහ ඉබෝලා වලදී මියගිය ශරීර ස්පර්ශ කිරීමෙන් වැලකීම
වව්ලන්, චිම්පන්සියන්, ගෝරිල්ලන්, වඳුරන් වැනි සතුන්ගේ මස් ආහාරයට නොගැනීම
නිතර සබන් යොදා අත් සේදීම
අවදානම එන්න ඉස්සෙල්ල දැනගෙන ඉන්න!
© dosthara.com / dosthara.lk