නින්ද කියන්නේ සියලුම සත්ව විශේෂවල බහුලව දක්නට ලැබෙන කායික හැසිරීමකි. අපේ ජිවිත කාලයෙන් තුනෙන් එකක් විතර අපි නිදාගන්නවා. ඒකේ නිශ්චිත ක්‍රියාකාරිත්වයන් පැහැදිලිව දන්නේ නැති වුනත් දිගුකාලීන නින්ද අහිමි වීම නිසා දරුණු ශාරීරික දුර්වලතාවයන්ට සහ මානසික ගැටළු වලට මගපාදන අතර අවසානයේ මරණයට පවා පත් විය හැක. එනිසා නින්ද අපිට අත්‍යවශ්‍ය යමක් බව කිසිදු සැකයක් නොමැත.

නින්ද කියන්නේ මොකද්ද කියල තේරුම් ගමු

නින්ද කියලා කියන්නේ පාරිසරික උත්තේජක පිළිබඳ දැනුවත්භාවය අඩු වන තත්වයක් ඒ කියන්නේ අවට පරිසරයේ දේවල් සිදුවුනත් ඒවා අපිට නොදැනෙන තත්වයක්. නින්ද, කෝමා සහ මරණය යන තත්වයන්ට වඩා වෙනස් වන්නේ එය වේගයෙන්  නැවත මුල් තත්වයට හැරවිය හැකි බැවිනි. නමුත් කෝමා තත්වයකදී එසේ මුල් තත්වයට පහසුවෙන් නැවත හැරවිය නොහැක.

නින්දේ ඇති අවධි

ප්‍රධාන වශයෙන් නින්දේ අවධි දෙකක් ඇත.

  1. Rapid Eye Movement (REM)
  2. Non-Rapid Eye Movement (NREM)

මෙම අවස්ථා දෙකම EEG (Electroencephalogram) මගින් පරික්ෂා කිරීමේදී, REM නින්දදී මොලයේ ක්‍රියාකාරිත්වය අප ඇහැරී සිටින විට මොළයේ ක්‍රියාකාරිත්වයම බව පෙනෙයි. එනම් අපි නිදා සිටියත් අපේ මොළය ඇහැරී සිටියි.

නමුත් Non-REM නින්දේදී අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වන බව EEG පරීක්ෂණ පෙන්නුම් කරයි. එනම් මොළය සන්සුන් බව පෙනෙයි.

නින්දේ අදියර

නින්ද යාම අදියර වශයෙන් වර්ගීකරණය කර ඇත. එහි අදියර 4ක් ඇත. ඉන්පසු මෙම අදියර චක්‍රයක් ලෙස දිගටම ක්‍රියාත්මක වෙයි.

පළමු අදියර

NREM Stage 1 – මෙය අවදිව සිටීම සහ නින්ද අතර කාලයයි. මෙහිදී මොළයේ ක්‍රියාකාරිත්වය අඩු වෙයි. හෘද ස්පන්දනය, ඇස් චලනයන් සහ ඔබේ හුස්ම ගැනීමේ වේගය අඩු වෙයි. ශරීරය ලිහිල් වන අතර මාංශ පේශි ඇඹරීමට ඉඩ ඇත. මෙම අදියර විනාඩි 10ක පමණ කාලයක් තිබෙයි.

දෙවන අදියර

NREM Stage 2 – American Sleep Foundation එකට අනුව කෙනෙක්ගේ නින්දෙන් අඩක්ම මෙම කාලය තුල ගත කරයි. එක චක්‍රයකදී මෙම අදියර විනාඩි 20ක් පමණ වෙයි. ඔබ ඔබේ වටපිටාව ගැන දැනීම අඩු වෙනවා, ශරීර උෂ්ණත්වය පහත වැටේ,  අක්ෂි චලනයන් නතර වේ එසේම හුස්ම ගැනීම සහ හෘද ස්පන්දනය වඩාත් විධිමත් වෙයි.

මෙම අදියරදී මොළය වේගවත්, රිද්මයානුකූල තරංග නිකුත් කරන අතර එය sleep spindles ලෙස හදුන්වයි. මෙමගින් මොළය පෙර දින ඔබ ලබාගත් නව මතකයන් එක්රැස් කර, සකස් කරන අතර මෙය මතකය තහවුරු කිරීමේ ලක්ෂණයක් ලෙසද සැලකේ.

තෙවන අදියර

NREM Stage 3 – මෙම අදියරදී මොලයෙන් ඩෙල්ටා තරංග නිකුත් කරන අතර එය ඩෙල්ටා නින්ද ලෙසද හැඳින්වේ. එසේම මෙය ගැඹුරු නින්ද ලෙසද හදුන්වයි. මෙම නින්දේදී පරිසරයේ ඇති ඕනෑම ශබ්දයක් හෝ ක්‍රියාකාරකමක් නිසා නිදා සිටින පුද්ගලයා අවදි කිරීමට අසමත් විය හැක. මෙම අදියර ප්‍රමාණවත් ලෙස ලබා ගැනීම මගින් ඊලග දින ප්‍රබෝධමත් බවක් ඇති කරයි. ශරීරය එහි භෞතික අලුත්වැඩියාවන් ආරම්භ කරන්නේ මෙම ගැඹුරු නින්දේදීය. එසේම සාමාන්‍ය දැනුම, කරුණු, පුද්ගලික අත්දැකීම් සහ ඉගෙන ගත් වෙනත් දේවල් මතකයේ සකස් කිරීම් මෙම අවදියේදී සිදු කරයි.

හතරවන අදියර

REM Sleep – මෙහිදී ඔබගේ මාංශ පේෂී ක්‍රියා නොකලත් එනම් නිශ්චල වුවත් ඔබගේ මොළය ඇහැරී සිටිනවිට ඇති තරංග නිකුත් කරයි. ඔබ සිහින දකින්නේ මෙම අදියරදීයි. නමුත් ශරීරය තාවකාලිකව අඩපණ වී ඇති නිසා ඔබගේ සිහින ක්‍රියාවෙන් කිරීමට හැකියාවක් නොලැබෙයි. මෙහිදීත් තෙවන අදියර වගේම අපගේ මතකයන් සකස් කරන අතර විශේෂයෙන්ම හැඟීම් සහ චිත්තවේගීය මතකයන් සකස් කරයි. එසේම මෙහිදී තොරතුරු මතකයට ඇතුළු වී ඇති බව තහවුරු කර කරයි, ඒ නිසා මෙය ඉගෙනීම සඳහා වැදගත් අදියරක් බවට පත් වෙයි.

නින්දේ තෙවන සහ සතරවන අදියර වලදී ශරීරයේ සෛල අලුත්වැඩියා කර නැවත ගොඩනැගීම, අස්ථි සහ මාංශ පේශි වර්ධනය සඳහා හෝමෝන ස්‍රාවය වීම සහ ප්‍රතිශක්තිය ශක්තිමත් කිරීම වැනි අති වැදගත් දේවල් සිදු වෙයි.

නින්දේ මෙම අදියර හරිම පිළිවෙලට සමහර විට සිදු නොවුනත් බොහෝ විට ඔබ ලබන නින්ද අනුව යම් පිළිවෙලකට සිදු වෙයි.

ඔබට දින ගණනාවක් නින්ද යන්නේ නැද්ද? එසේ නම් ඔබ වෛද්‍යවරයකු හමුවිය යුතුමයි.

Contact Your Doctor

sleep, sleeping disorder, what is sleep, eeg, delta, brain

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk