1003578766

මෙම දිනවල (අගෝස්තු 2021) ශ්‍රී ලංකාවා පුරා කොරෝනා වසංගත තත්වය ඉතා සීග්‍රයෙන් පැතිරෙන නිසා කෙනෙක්ට උණ වැළදුනොත් කරන්න ඕනේ මොකද්ද?

උණට විශේෂ හේතුවක් නොමැති නම් බහුලවම දක්නට ඇති රෝගය මුලින්ම හිතන්න, ඔව් ඒ කියන්නේ ඔබගේ උණ කොරෝනා රෝගී තත්වය විය හැකියි. පැය 24ක් ගිය පසුත් උණ එසේම පවතී නම් හොදම දේ වන්නේ Covid සදහා PCR හෝ Rapid Antigen පරීක්ෂාවක් (RAT) වෙතට යොමු වීමයි. ඔබගේ ප්‍රදේශයේ PCR හෝ RAT කරන ස්ථාන ගැන දැනගන්න ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH Office) අමතන්න. එසේ නැතිනම් බොහෝ පෞද්ගලික රෝහල් වලත් මෙය සිදු කරනවා.

Covid සදහා PCR හෝ Rapid Antigen පරීක්ෂණය පොසිටිව් නම්
කළබල වෙන්න එපා! කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව බොරුවට බෙහෙත් හොයන්න එපා! ඔබගේ නිවසේ ඔබට පමණක් පොසිටිව් වුනා නම් මුලින්ම නිවසේ අනිත් අයට මෙය බෝවීම වැලක්වීමට පියවර ගන්න. ඒ කියන්නේ වෙනම කාඹරයක ඉන්න. එසේ ඉන්න විටත් හැකි සැම අවස්ථාවකදීම මාස්ක් එක දාගෙන ඉන්න.
ඊළගට ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකව (PHI) දැනුවත් කරන්න (එසේම ප්‍රදේශයේ ග්‍රාම සේවකවත් දැනුවත් කරන්න). ඔවුන්ගේ දුරකථන කාර්යබහුල නම් කෙටි පණිවිඩයක් (sms) තබන්න. එසේ සම්බන්ධ වීම මගින් ඔබගේ දුරකථන අංකය ලියාපදිංචි වීමක් සිදු කරයි. ඉන්පසු ඔබව නිවසේ සිට නිරෝධායනය කරනවද නැත්නම් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනවද කියන තීරණය MOH විසින් කරනු ලබනවා.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යවරයා ඔබව නිවසේ සිට නිරෝධායනය කල හැකි බව තීරණය කලොත්, ඔබට ඒ ගැන දැනුම් දී අවශ්‍ය උපදෙස් ලබා දෙයි. එසේ නිවසේ නිරෝධායනය වන විට ඔබට සෞඛ්‍ය ගැටළුවක් ඇති වුනොත් 1390 අමතා වෛද්‍යවරයකු හා සම්බන්ද වෙන්න පුළුවන්. නමුත් ඔබ MOH කාර්යාලයහි ලියාපදිංචි වී නොමැති නම් ඔබට ඒ පහසුකම ලබා ගත නොහැකියි.
එසේම කෝවිඩ් ආසාදිත පුද්ගලයන් සඳහා ලැබිය යුතු ප්‍රතිකාර හා උපදෙස් ලබාදීමට ඔවුන් ලියා පදිංචි කිරීමේ ක්‍රමවේදය සිදු කිරීමට 1904 SMS සේවාව හඳුන්වා දී තිබෙනවා. මෙම සේවාව ලබා ගැනීමට ඔබ කළ යුත්තේ පහත දැක්වෙන ආකාරයට ඔබගේ විස්තර සඳහන් කර 1904 අංකයට කෙටි පණිවිඩයක් (SMS) යොමු කිරීමයි.
එම කෙටි පණිවිඩයෙහි සඳහන් විය යුතු කරුණු පහත ලෙස වේ.
රෝග ලක්ෂණ කේතය <හිස්තැනක්> වයස<හිස්තැනක්>ජාතික හැඳුනුම්පත් අංකය<හිස්තැනක්>ලිපිනය
මෙහිදී ඔබට ඇති රෝග ලක්ෂණ අනුව A,B හෝ C ලෙස වෙන්වන්නේ මේ ආකාරයෙන්.
A – හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත.
B – උණ/කැස්ස/උගුරේ වේදනාව/හිසරදය වැනි රෝග ලක්ෂණ ඇත. හුස්ම ගැනීමේ අපහසුතාවයක් නැත.
C – කිසිදු රෝග ලක්ෂණයක් නැත.


Covid සදහා PCR හෝ Rapid Antigen පරීක්ෂණය නෙගටිව් නම්

උණ ඇති වෙන්න හේතු ගොඩක් තිබුනත් ඊළගට භයානක අසනීපය වන ඩෙංගු ඇත්දැයි පරික්ෂා කිරීම ප්‍රයෝජනවත්. ඒ සදහා ඔබගේ වෛද්‍යවරයා Dengue NS-1 Antigen පරික්ෂාව කරයි. නමුත් මෙම පරීක්ෂණය කල යුත්තේ උණ වැළදී මුල් පැය 48ක කාලය ඇතුලතදියි.

ඩෙංගු ඇන්ටිජන් පරික්ෂාව නෙගටිව් නම්
එසේ නම් ඔබට වැළදී ඇති උණට හේතුව තීරණය කිරීමට ඔබගේ පවුලේ වෛද්‍යවරයා තවත් පරීක්ෂණ කල හැකියි.
සැලකිය යුතුයි : ඉහත සදහන් කිසිදු පරීක්ෂණයක් වෛද්‍ය අනුමැතියකින් තොරව සිදු නොකරයි. මෙම තොරතුරු ඔබගේ දැනගන්ම සදහා පමණයි.

අමතර කරුණු

ඔබගේ නිවසේ උණ පරික්ෂා කිරීමට උණ කටුවක් තිබීම ඉතාම වැදගත් කාරණයක්. ඒ වගේම ඔබට හැකියාවක් තිබෙනවා නම් pulse oximeter එකක් තබා ගැනීමත් වටිනවා.

නිරෝධායනය වන ඔබ නිවසේ කෙනෙක් මරණයට පත් වුනොත් කල යුත්තේ කුමක්ද?
ඒ ගැන ඔබට අයත් පොලිසිය දැනුවත් කරන්න. එවිට පොලිසිය මගින් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙයි.

තේරුණේ නැති දෙයක් තියෙනවද?

අපගේ වෛද්‍යවරයකුගෙන් අහන්න

fever covid corona una leda

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk