පුරස්ථි ග්‍රන්ථියේ ව්‍යුහය
පුරස්ථි ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින්, ගුද මාර්ගයට ඉදිරියෙන් පිහිටි ඉතා කුඩා ග්‍රන්ථියකි. මුත්‍රා හා ශුක්‍ර තරලය ශරීරයෙන් ඉවතට ගෙන යන, ශිෂ්ණය හරහා ‍දිවෙන කුඩා නාලයක් වැනි වූ මුත්‍ර මාර්ගය මේ හරහා පිහිටා ඇත.

ශුක්‍ර තරලයේ 60%ක් පමණ නිපදවීමට දායක වන ශුක්‍රධර නාලිකා නම් කුඩා ග්‍රන්ථි දෙක පුරස්ථි ග්‍රන්ථියට ඉහළින් ඉතා ආසන්නව පිහිටයි. පුරස්ථි ග්‍රන්ථියට දෙපසින් ඉතා ආසන්නව, ශිෂ්ණයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන ස්නායු දිවෙයි.

එයින් කරන්නේ කුමක්ද?
ශුක්‍ර තරලයෙන් 25-30% අතර ප්‍රමාණයකට දායක වන කිරි හෝ සුදු පැහැති තරමක් භාෂ්මික තරලයක් නිපදවීම හා ගබඩා කිරීම මෙහි කාර්ය වේ. ශුක්‍ර තරලයේ මෙම භාෂ්මිකතාවය මගින් යෝනි මාර්ගයේ ඇති ආම්ලික බව උදාසීනකර ශුක්‍රාණුවල ජිවිත කාලය ඉහළ දමයි. මෙලෙස පුරස්ථි ග්‍රන්ථියෙන් නිපදවන තරලය, ශුක්‍රාණුවලින් වැඩි කොටසක් ද සමගින් ශුක්‍ර තරලයේ පළමුවන කොටස ලෙස පිටවේ. ශුක්‍රධර නාලිකා වලින් නිපදවෙන තරලය සමග පිටවන සුලු සංඛ්‍යාවක් වන ශු‍ක්‍රාණු සමග සැසදිමේ දී මෙලෙස මුලින් ම පිටවන ශුක්‍රාණු වල ජීවිබව හා චලනය වීමේ හැකියාව වැඩිවන අතරම, ඒවායේ ජීවිත කාලය ද වඩා වැඩිය. ජාන ලක්ෂණ වඩා හොදින් ආරක්ෂා වී පවතින්නේද මෙම ශුක්‍රාණුවලය.

පුරස්ථ ග්‍රන්ථියේ සිනිදු පේශි යම් ප්‍රමාණයක් ද පවතින අතර ඒවා මෙලෙස ශුක්‍ර තරලය හොදින් පිටවීමට උපකාරි වේ.

පුරස්ථි ග්‍රන්ථියේ අක්‍රමිකතා නිසා ඇතිවන රෝග ලක්ෂණ
මුත්‍රා පිටවීමේ වේගය බාලවේ
මුත්‍රා පිටවීම ආරම්භ කිරීම අපහසුවන අතර ඒ සදහා තැටමීම අවශ්‍යය වේ
මුත්‍රා ගලායාම කඩින් කඩ සිදුවේ.
මුත්‍රා කිරීම අවසන් කළ පසුව ද මුත්‍රා බින්දු බින්දු පිටවේ.
මුත්‍රා පහ කර අවසන් වු පසුවත් මුත්‍රාශයේ මුත්‍රා පිරී ඇති බවක් හැගීයාම (මුත්‍රාශය සම්පුර්ණයෙන් හිස් කළ නොහැකිවීම)
මුත්‍රා අඩස්සිය
මුත්‍රා කරන වාර ගණන වැඩිවීම හා රාත්‍රියට ද මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම
මුත්‍රා කිරීම අවශ්‍යය වූ විට එය පාලනය කරගත නොහැකිවීම

මෙවැනි රෝග ලක්ෂණ මගින් හැගී යන්නේ කුමක් ද ?
ඉහත ‍රෝග ලක්ෂණ එකක් ‍හෝ කීපයක් පැවතීම පහත තත්ත්වයන් නිසා ඇතිවිය හැක.
පිළිකාමය තත්ත්වයක් නොමැතිව පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය විශාලවීම
පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා
මුත්‍රා මාර්ගයේ ඇතිවන සිහින්/පටුවීම්
ඖෂධ වර්ග නිසා
ස්නායු ආබාධ නිසා (පාකින්සන් රෝගය වැනි)
මුත්‍රාශයේ පිළිකා
මුත්‍රාශයේ ගල් ඇතිවීම

  1. Benign Prostatic Hyperplasia
    මෙය වයස අවුරුදු 60ට වැඩි පිරිමින් තුළ බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙයට නිශ්චිත හේතුව හදුනාගෙන නොමැති නමුත්, වයස්ගත වීම නිසා ඇතිවන‍ හෝර්මෝන වෙනස්වීම් ඒ සදහා ‍හේතුවන බවට සැකකෙරේ.
  2. පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා
    කල්යාමේ දී නිවැරදි ප්‍රතිකාර නොලදහොත් රුධිරය හෝ වසා ඔස්සේ පිළිකාව වෙනත් ඉන්ද්‍රියයන් කරා පැතිරේ. වාසනාවකට පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා අන් පිළිකා මෙන් නොව ඉතා සෙමින් වර්ධනය වේ. මේ නිසා දශක ගණනාවක් යනතෙක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා නිහඩව පවතීයි. බොහෝ වයස්ගත පිරිමින් තුළ අවම වශයෙන් පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවල මුල් අවධිය හෝ ඇති වී පවති. නමුත් මෙම පිළිකාවල වර්ධනය ඉතා සෙමින් සිදුවන නිසා කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වීමට පෙර වෙනත් හේතුන් නිසා එම පුද්ගලයා පිළිකාවත් සමගම මරණයට පත්වේ. ඔබට ඉහත ලක්ෂණවලින් එකක් හෝ පවතී නම් වහාම වෛද්‍යවරයා හමුවීමට යා යුතුවේ.

මෙම රෝගය හදුනා ගන්නේ කෙසේද

  1. ගුද මාර්ගයට ඇගිල්ලක් දමා සිදු කරන පරික්ෂණය
    මෙහිදි වෛද්‍යවරයා විසින් අත්වැසුම් දමා, ස්නේහනය කරන ලද ඇගිල්ලක් ගුද මාර්ගයෙන් ඇතුලු කර පුරස්ථි ග්‍රන්ථියේ ප්‍රමාණය හා හැඩය හෝ වෙනස් වී ඇති නැති බව ස්පර්ශයෙන් බලනු ලැබේ. බොහෝවිට පිළිකාමය තත්ත්වයන් නිසා ඇතිවන පුරස්ථි ග්‍රන්ථියේ ඉදිමුම, එසේ නොවන ග්‍රන්ථියේ විශාලවීම් වලින් වෙන් කර හදුනාගැනීමට මෙම ක්‍රමය වෛද්‍යවරුන්ට මහෝපකාරී වේ.
  2. රුධිරයේ PSA මට්ටම පරීක්ෂා කිරීම
    PSA යනු පුරස්ථි ග්‍රන්ථියේ නිපදවන, ඉතා කුඩා ප්‍රමාණවලින් රුධිරයට මුදා හරින ප්‍රෝටීනමය රසායනික ද්‍රව්‍යයකි. සාමාන්‍ය අවස්ථාවලදී මෙය රුධිර පරික්ෂණයකින් හදුනාගත නොහැකි නමුත්, පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා ආදියේදී, නිපදවීම වැඩිවන අතර, පහසුවෙන් රුධිරයේ මට්ටම මැන ගත හැකිවේ. මෙම පරික්ෂණය සිදු කරන්නේ ඔබේ අතකින් ලබාගන්නා ඉතා කුඩා රුධිර ප්‍රමාණයකිනි.
    එසේ වුවත් පිළිකාමය තත්ත්වයක් නොමැතිව පුරස්ථි ග්‍රන්ථිය විශාලවීමේ දී හා ග්‍රන්ථියේ ආසාදන වලදීද PSA මට්ටම වැඩිවන බව සොයාගෙන ඇත. තවද සමහර පුරස්ථි ග්‍රන්ථි පිළිකා නිසා මට්ටම ඉහළ යාමක් සිදුනොවේ. PSA මට්ටම හා ගුදමාර්ගයට ඇගිල්ලක් දමා කරන පරික්ෂණය යන දෙකේ ම ප්‍රතිඵල අනුව රෝග තත්ත්වය නිශ්චය කිරීම අවශ්‍යය වන්නේ එබැවිණි.
  3. පුරස්ථි ග්‍රන්ථියේ ස්කෑන් / එක්ස් කිරණ පරික්ෂණය ආදිය
    පුරස්ථි ග්‍රන්ථිය හොදින් දර්ශනය කිරීමට විවිධ ක්‍රම යොදාගත හැකි අතර එවැනි ක්‍රමයක අවශ්‍යතාවය හෝ ඔබට කුමන ක්‍රමයක් ගැලපෙන්නේ ද යන්න මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත.

නවීන වෛද්‍ය විද්‍යාවෙන් ලබාදෙන උසස් තත්වයේ ප්‍රතිකාර නිසා පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හොදින් සුවකළ හැකි පිළිකා වර්ගයක් බවට පත්ව ති‍බේ. පිළිකාව කලින් හදුනා ගන්නා තරමට ප්‍රතිකාර මගින් ලබාගන්නා ප්‍රතිඵලය වඩාත් සතුටුදායකවේ.

තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න

Dosthara.lk / Dosthara.com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk