Malaria_Red_cell

මැලේරියා යනු Plasmodium ලෙස හදුන්වන පරපෝෂිතයෙකු අපගේ ශරීරයට ඇතුළු වීමෙන් වැළදෙන රෝගයකි. මෙම පරපෝෂිතයා අපගේ ශරීරයට ඇතුළු වන්නේ ඇනොෆිලස් ලෙස හදුන්වන මදුරුවෙකු දෂ්ට කිරීම මගිනි. මැලේරියා ඇතිකරන Plasmodium පරපෝෂිතයන් වර්ග 5ක් ඇති නමුත් ප්‍රධාන වර්ග 2ක් බොහෝ විට මෙම රෝගය ඇති කරයි. එනම් plasmodium falciparum සහ plasmodium vivax වෙයි.

රෝග ලක්ෂණ
මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ වන අතර ආසාධිත මදුරුවා දෂ්ට කිරීමෙන් දින 10කට 15කට පමණ පසුව එය දක්නට ලැබෙයි. උණට අමතරව අධික දහඩිය දැමීම, වෙව්ලීම සහ හිසරදය දක්නට ලැබෙයි. ඉන්පසු එහි අවදානම් තත්වයට පත්වන අතර එහිදී හුස්ම ගැනීමේ අපහසුතා, රක්තහීනතාවය සහ මස්තිෂ්ක මැලේරියාව දක්නට ලැබෙයි.

මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ නොවන අතර මෙම පරපෝෂිතයා රැගත් ඇනොෆිලස් මදුරුවා දෂ්ට කිරීමෙන් පමණක් බෝවෙයි.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය උණ නිසා වෙනත් උණ රෝග වලින් වෙන්කර හදුනා ගන්නේ කොහොමද?
මුලින් මෙය වෙනත් උණ රෝගයකින් වෙන කර හදුනාගැනීම අපහසු වුවත් ඔබ මැලේරියා බහුල ප්‍රදේශයකට දින කිහිපයකට පෙර ගොස් ඇත්නම් බොහෝවිට මෙම රෝගය ඔබට වැළදී ඇති බව වෛද්‍යවරුන් සැක කරයි. දැනට ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගීන් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවුනත්, තවම වෙනත් රටවලින් පැමිණ මැලේරියාව වැළදුණු රෝගීන් ලංකාවෙන් හමුවෙයි. වර්ෂ 2016 සප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාව මැලේරියාව රහිත රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත.

හදුනාගන්නේ කොහොමද?
ඔබගේ රුධිර සාම්පලයක් අන්වීක්ෂයෙන් පරික්ෂා කිරීමෙන් මෙම පරපෝෂිතයා දැකගත හැකියි.

වලක්වා ගන්නේ කොහොමද?
මෙය වලක්වා ගැනීමේ ප්‍රධාන ක්‍රමය වන්නේ මෙය බෝ කරන මදුරුවා පාලනය කිරීමයි. ඒ සදහා මදුරු දැල් භාවිතය සහ මදුරුවන්ට රසායනික දුම් ගැසීම සිදුකරයි.

එසේම ඔබ වෙනත් මැලේරියා බහුල රටකට ගොස් දින හෝ සති කිහිපයක් ඇතුලත ලංකාවට පැමිණි විට ඔබට උණ රෝගය ඇත්නම් ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයාට ඒ ගැන කියන්න. එසේම සමහර රටවල් වලට යෑමට පෙර ඔබගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) හමුවී වළක්වා ගැනීමට ඖෂධ ලබා ගත හැකියි. ඔබ යන රටේ මැලේරියාව ඇත්දැයි දැනගැනීමට මෙම වෙබ් අඩවිය බලන්න. Info – CDC

ප්‍රතිකාර තිබෙනවාද?
ඔව්. සම්පුර්ණයෙන් සුව කිරීමට ප්‍රතිකාර තිබෙනවා. නමුත් එය මුලින් හදුනාගැනීම ඉතාම වැදගත්.

තේරුණේ නැති දෙයක් තියෙනවද? අපෙන් අහන්න.

දැනගන්න. වලකින්න.

Dosthara.Com

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk