මොකද්ද මේ අසනීපය?
කවසාකි අසනීපය කියන්නේ බොහෝවිට වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවන්ට වැළදෙන, ශරීරයේ රුධිර වාහිනී වල ඇතිවන තත්වයකි (inflammation). මෙම අසනිපයේදීත් බොහෝ අසනීප වගේ මුලින්ම දක්නට ලැබෙන රෝග ලක්ෂණය වන්නේ උණ යි.
නමුත් උණ තිබෙන හැමෝටම කවසාකි අසනීපය තිබෙනවා කියා වෛද්‍යවරුන් සිතන්නේ නැහැ, එයට හේතුව මෙම අසනීපය අදියර කිහිපයකට වෙන් කර තිබීමයි.

පළමු අදියර
මෙහිදී රෝග ලක්ෂණ සති 2ක් පමණ පවතින අතර බොහෝ විට උණ දින 5කට වඩා පවතියි. එසේම ඇස් රතු වීම, ශරීරයේ රතු පැහැති පැල්ලම්, උගුරේ අමාරුව සහ බෙල්ලේ වසා ගැටිති ඉදිමීම දක්නට ලැබෙයි.

දෙවන අදියර
උණ ආරම්භ වුන දින සිට සති 2කින් පමණ පසු මෙම අදියර ආරම්භ වෙයි. එහිදී අතේ සහ කකුල් වල සම ගැලවීයාම, හන්දි කැක්කුම, වමනය, බඩ බුරුල් වීම සහ බඩේ කැක්කුම දක්නට ලැබෙයි.

මේ අසනීපයට බය වෙන්න ඕනද?
මෙය මුල් අවස්ථාවේදීම හදුනාගැනීමෙන් වෛද්‍යවරුන්හට ප්‍රතිකාර පටන් ගැනීමට හැකි අතර අතුරු ආබාධ නොමැතිවම සුව කරගත හැක. නමුත් හදුනා ගැනීමට පරක්කු වුනොත් පහත අතුරු ආබාධ ඇතිවිය හැකියි.

හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි වල බිත්තියේ ඉදිමීම
හෘද පේශි, කපාට සහ හෘදය වටා පිටත පටලය ඉදිමීම
හෘද ස්පන්දනයේ සාමාන්‍ය රටාවේ වෙනස්කම්
හෘද කපාට ගැටළු
මේ ලෙඩේට හේතුව මොකද්ද ?
ඒක තාම හරියටම දන්නේ නැහැ, කොහොමවුනත් මෙය කෙනෙක්ගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ නැහැ.

මේ ලෙඩේ හදුනාගන්නේ කොහොමද?
වෛද්‍යවරුන් රෝග ඉතිහාසය ගැන හොදින් විමසන අතර ඉහත සදහන් රෝග ලක්ෂණ ඇත්දැයි සොයා බලයි. ඒ වගේම ශරීරය පරික්ෂා කිරීමෙන් සහ දැනටමත් අතුරු ආබාධ ඇතිවී ඇත්දැයි සොයා බලයි. එසේම මෙම රෝග නිශ්චයට පැමිණීමට පෙර වෙනත් රෝගයක් නිසා එම රෝග ලක්ෂණ පැමිණියේදැයි සොයා බලයි.

ප්‍රතිකාර මොනවාද?

ඉමියුනෝග්ලොබුලින් ලබා දීම – මෙය රෝග නිශ්චයට පැමිණි වහාම ලබා දීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ අඩු කරගත හැකියි.
ඇස්ප්‍රින්
ස්ටීරොයිඩ් වර්ගයේ ප්‍රතිකාර
ඔබගේ දරුවට හොදම ප්‍රතිකාරය වෛද්‍යවරුන් විසින් ලබා දෙන අතර එමගින් අතුරු ආබාධ වලක්වා ගත හැකියි.

බය වෙන්න එපා! නමුත් දැනගෙන ඉන්න!

© dosthara.com

තේරුනේ නැති දෙයක් තියෙනවා නම් අපෙන් අහන්න.

By Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected by Dosthara.lk